Thursday, August 21, 2014

කප්පාදුව අරඹයි ඉන්චියොන් ලැයිස්‌තුවෙන් බාගෙට බාගයක්‌ හැලෙයි

ලබන මස (සැප්තැම්බර් මස) දකුණු කොරියාවේ ඉන්චියොන්හී ඇරඹෙන 17 වැනි ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීම පිණිස ක්‍රීඩා සංගම් වලින් ඉදිරිපත්වූ 159 දෙනෙකුගේ ලැයිස්‌තුව අවසානයේ 72 ක්‌ දක්‌වා අඩු කිරීමට ඊයේ තීරණය වී තිබේ.


ප්‍රතිඵල රහිතව සිය ගණන් පිරිස්‌ ක්‍රීඩා සවාරි යැම නවතා ජයග්‍රහණ අරමුණු කරගත් ශ්‍රී ලංකා නියෝජනයක්‌ ඉදිරිපත් කිරීමේ අරමුණින් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ඔලිම්පික්‌ කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු ඇතුළු පිරිස පසුගියදා පැවැත්වූ සාකච්ජාවකදී ගනු ලැබූ තීන්දු තීරණ පදනම්ව මෙම කප්පාදුව සිදුකර ඇත.

අදාළ සාකච්ජාවේදී ඉන් අනතුරුව පැවැත්වෙන ප්‍රධාන ගණයේ ක්‍රීඩා ඉසව් සඳහා ශ්‍රී ලංකා නියෝජනයේ සුදුසුකම් අධීක්‍ෂණය සඳහා මහාචාර්ය අර්ජුන් ද සිල්වා ප්‍රමුඛ ත්‍රිපුද්ගල කමිටුවක්‌ නම් කරන ලද අතර ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුදැනුම යටතේ එම අධීක්‍ෂණ මණ්‌ඩලයේ නිර්දේශය මත මෙවර ආසියානු ක්‍රීඩා උළෙල සඳහා පිරිසෙන් 72 ක්‌ වන අදාළ කණ්‌ඩායම තේරී තිබේ.

ඒ අනුව බොක්‌සිං, බර ඉසිලීම, රුවල් ඔරු යන ක්‍රීඩා වලින් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් සපුරා ඇත්තේ එක්‌ ක්‍රීඩකයෙක්‌ බැගින් පමණි. කාන්තා කබඩි කණ්‌ඩායම හෙවත් ක්‍රීඩිකාවන් 12 දෙනෙක්‌, ක්‍රිකට්‌ කණ්‌ඩායම සඳහා ක්‍රීඩකයන් 15 දෙනෙක්‌, බීච් වොලිබොල් තරග අංශයෙන් පිරිමි කණ්‌ඩායම් 2 ක්‌ සහ කාන්තා කණ්‌ඩායම් 2 ක්‌ හෙවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙක්‌, සත් සාමාජික රග්බි කණ්‌ඩායමේ ක්‍රීඩකයන් 12 දෙනෙක්‌ සහ මලල ක්‍රීඩා සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනෙක්‌ ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 64 දෙනෙක්‌ ආසියානු ක්‍රීඩා වරම් ලැබීම සඳහා නිර්දේශිත පිරිස අතරේ වෙති. අදාළ සමස්‌ත ශ්‍රී ලංකා කණ්‌ඩායම 72 ක්‌ බවට පත්වන්නේ කණ්‌ඩායම් ප්‍රධානී සහ කළමනාකරුවන් 7 දෙනෙක්‌ හෙවත් නිලධාරීන් 8 දෙනෙකුද සමගිනි.

වාර්තා වන අන්දමට අදාළ අධීක්‍ෂණයෙන් අනතුරුව ආසියානු ක්‍රීඩා උළෙල සඳහා වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්‌ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 22 කට අනුමැතිය ලබාදීමට යෝජනා වුවද එයට ඇතුළත් වූ සහය දිවීමේ කණ්‌ඩායම් දෙකක පරිසාධන මට්‌ටම ගැන ගැටලුවක්‌ මතුවීම මත ඔවුන්ට එම අවස්‌ථාව ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

ක්‍රීඩා සංගම් මගින් ආසියානු ක්‍රීඩා උළෙල සඳහා කරන ලද නම් කිරීම් එම ත්‍රිපුද්ගල අධීක්‍ෂණ මණ්‌ඩලය විසින් නිර්දේශයට ගැනීමේදී එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2010 වසරේ සිට පෙන්නුම් කරන ලද ප්‍රතිඵල සැලකිල්ලට ගෙන ඇත.

No comments:

Post a Comment