Thursday, August 21, 2014

'කුඩු නුවන්' අත්අඩංගුවට...

කලක්‌ රජයේ ඇමැතිවරයකු සමීපයේ සිටිමින් අපරාධ රැසක්‌ සිදු කළ 'කුඩු නුවන්' මත්කුඩු ග්‍රෑම් තුන්සියයක්‌ද සමඟින් ඊයේ (20 දා) කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම ඇමැතිවරයාගේ සමීප සගයකු වූ දැනට විදේශයකට පැන ගොස්‌ සිටින මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකුගේ ප්‍රධාන ගෝලයකු වූ නුවන්ට කුඩු ජාවාරම නිසාම කලක සිට 'කුඩු නුවන්' යන නාමය පටබැඳී තිබිණි.

කොලොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ සිටිමින් "කුඩු නුවන්" සිය ජාවාරම කරගෙන යන බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණු අතර ඒ අනුව ඊයේ (20 දා) මීතොටමුල්ල ප්‍රදේශයේ විශේෂ වැටලීමක්‌ සිදුකළ කොළඹ අපරාධ කොට්‌ඨාසයේ පොලිස්‌ නිලධාරීන්ට මොහු කොටුකර ගැනීමට හැකි වී ඇත.

මීතොටමුල්ල පිහිටි නිවසේ සිට බෙදා හැරීම සඳහා මත් කුඩු ග්‍රෑම් තුන්සිය එකකුත් මිලි ග්‍රෑම් 275 ක්‌ රැගෙන පිටතට එමින් සිටි 'කුඩු නුවන්' පොලිසියට හසු වී තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු වැටලීම සිදු කළ නිලධාරීන් මීතොටමුල්ලේ පිහිටි 'කුඩු නුවන්' පදිංචිව සිටි නිවස සෝදිසි කිරීමේදී මත්කුඩු කිරන්නට යොදා ගන්නා ඉලෙක්‌ට්‍රොනික්‌ තරාදියක්‌ද සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ 'කුඩු නුවන්' කොලොන්නාව ප්‍රදේශයේ දේශපාලනඥයකුගේ ඥතියකු බවද පොලිසිය සඳහන් කරයි.

මෙම දේශපාලන සබඳතාද 'කුඩු නුවන්' ට ඉකුත් කාලයේ සිය ජාවාරම කරගෙන යැමට විශාල රුකුලක්‌ වී තිබිණි. මොහු සන්තකයේ තිබී සොයාගත් කුඩු තොගයේ වටිනාකම රුපියල් ලක්‍ෂ තිහක්‌ පමණ වන බවද පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් කුඩු නුවන්ගෙන් වැඩි දුරටත් ප්‍රශ්න කිරීමට නියමිත අතර කොළඹ අපරාධ කොට්‌ඨාසයේ පොලිස්‌ පරීක්‍ෂකවරුන් වන චන්දන රණසිංහ, වසන්ත, සැරයන්වරුන් වන ප්‍රේමලාල්, ෆොන්සේකා, බොතේජු, බණ්‌ඩාර, ආනන්ද ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ 'කුඩු නුවන්' අත්අඩංගුවට ගැනීමේ වැටලීම සිදු කළහ.

No comments:

Post a Comment