Thursday, August 21, 2014

ක්‍රිකට් සභාපතිගේ පිලට පාකිස්තානය පරාජය වෙයි

ධනුෂ්ක-ප්‍රියන්ජන්-කිත්රුවන් සහ තිසරගෙන් අර්ධ ශතක

සංචාරක පාකිස්තානු ක්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල අතර ඊයේ (20දා) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති එක්දින පුහුණු තරගයෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 13ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල සමත් විය. මුලින්ම පන්දුවට පහර දුන් ක්‍රිකට් සභාපතිගේ පිල පන්දුවාර 50දී කඩුලු 7ට ලකුණු 325ක් රැස් කළ අතර, පාකිස්තානයට පන්දුවාර 46.2කදී ලබාගත හැකිවූයේ කඩුලු 8ට ලකුණු 290ක් පමණි. 
පන්දුවාර 46.2කදී ජයග්‍රහණය සඳහා පාකිස්තානයට ලකුණු 304ක ඉලක්කයක් හිමිවී තිබුණි. 
මුලින්ම පන්දුවට පහර දුන් ක්‍රිකට් සභාපතිගේ පිල වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක සහ ටී.එම්. ඩිල්ෂාන් ලකුණු 48ක සම්බන්ධතාවයක් තැබිමෙන් පසු ඩිල්ෂාන් ලකුණු 19කට දවා ගත් මොහොමඩ් තලා නායක ලහිරු තිරිමාන්න ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමෙන් පසු ධනුෂ්කට චන්දිමාල් එක් විය.
සාර්ථක පිතිහරඹයක නිරත වූ ධනුෂ්ක ගුණතිලක පන්දු 53කදී හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 51ක් ලබාගත් අතර, චන්දිමාල් ලකුණු 37ක් වාර්තා කළේය.
ඉන්පසු පිටියේ එක්වූ කිත්රුවන් විතානගේ සහ අශාන් ප්‍රියන්ජන් ප්‍රහාරයක් දියත් කරමින් අර්ධ ශතක වාර්තා කළහ. 
කිත්රුවන් පන්දු 51කදී හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 56ක් වාර්තා කළ අතර, අශාන් ප්‍රියන්ජන් පන්දු 65කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සහිතව ලකුණු 65ක් ලබා ගත්තේය. 
අවසන් පන්දුවාර 10දී වගකීම කරට ගත් ප්‍රහාරක තිසර පෙරේරා පන්දු 45කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සහිතව නොදැවී ලකුණු 52ක් වාර්තා කිරීම නිසා ක්‍රිකට් සභාපතිගෙ පිලට ලකුණු 325ක් රැස්කර ගත හැකි විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් හෆීස් අර්ධ ශතකයක් වාර්තා කළ අතර, සෙසු පිතිකරුවෝද ලකුණු හඹායාම වෙනුවෙන් ප්‍රහාරයක් දියත් කළහ. ක්‍රිකට් සභාපතිගෙ පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ සුරාජ් රන්දිව්, තිසර පෙරේරා සහ දුෂ්මන්ත චමීර කඩුලු 2 බැගින් බිඳ හෙලූහ. 

ලකුණු තත්ත්වය :- 
ක්‍රිකට් සභාපතිගේ පිල පන්දුවාර 50දී - 325/7යි
ධනුෂ්ක ගුණතිලක 51, ටී.එම්. ඩිල්ෂාන් 19, ලහිරු තිරිමාන්න 0, දිනේෂ් චන්දිමාල් 37, අශාන් ප්‍රියන්ජන් 65, කිත්රුවන් විතානගේ 56, චතුරංග ද සිල්වා 9, තිසර පෙරේරා (නොදැවී) 52,  සුරාජ් රන්දිව් (නොදැවී) 18, මොහොමඩ් තලා 54/2, වහාබ් රියාස් 65/1, මොහොමඩ් හෆීස් 44/4
පාකිස්තානය පන්දුවාර 46.2කදී - 290/8යි
අහමඩ් ෂෙෂාඩ් 39, මොහොමඩ් හෆීස් 54, යුනිස් ඛාන් 27, උමාර් අක්මල් 7, මිස්බා උල්හක් 38, ෆාවඩ් අලාම් 28, ෂොයිබ් මක්සුඩ් 29, 
ෂහිඩ් අෆ්රිඩි 37, අන්වර් අලී (නොදැවී) 13, වහාබ් රියාස් (නොදැවී) 3, තිසර පෙරේරා 51/2, ලහිරු ගමගේ 79/1, චමීර දුෂ්මන්ත 56/2, චතුරංග ද සිල්වා 41/0, සුරාජ් රන්දිව් 52/2, තිලකරත්න ඩිල්ෂාන් 10/0

No comments:

Post a Comment