Friday, August 22, 2014

ශ්‍රී ලංකාව එක්‌දින ශේ්‍රණියේ දෙවැනි තැන සොයායන සටන අද හම්බන්තොටින් ඇරඹේ

ලෝක එක්‌දින ශ්‍රේණියේ දෙවැනි තැන දිනා ගැනීම සඳහා සැලසුම් සකස්‌ කරමින් සිටින ශ්‍රී ලංකාව, පකිස්‌තානය සමග තරග තුනකින් සමන්විත එක්‌දින තරගාවලියේ පළමු තරගයට අද (23 දා) හම්බන්තොට මහින්ද රාජපක්‌ෂ ක්‍රීඩාංගණයේදී සහභාගි වේ. දිවා තරගයක්‌ ලෙසින් පැවැත්වෙන මෙම තරගය අද පෙ.ව. 9.45 ට ආරම්භ වීමට නියමිතය.


එළැඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට ඉතිරිව ඇති එක්‌දින ජාත්‍යන්තර තරග 15 න් තුනක්‌ම පකිස්‌තානය සමගින් පැවැත්වෙන අතර මෙම තරගාවලිය ජය ගතහොත් ශ්‍රී ලංකාවට එක්‌දින ශ්‍රේණියේ දෙවැනි ස්‌ථානයට පත්වීමට වැඩි අවස්‌ථාවක්‌ නිර්මාණය වී තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 111 බැගින් ලබා තෙවැනි ස්‌ථානයේ පසුවන අතර එහි දෙවැනි ස්‌ථානයේ පසුවන ඉන්දියාව පසුකර යැමට ශ්‍රී ලංකාවට තවත් අවශ්‍යව ඇත්තේ ප්‍රසාද ලකුණු දෙකක්‌ පමණි. කෙසේ වෙතත් පකිස්‌තානය මෙම තරගාවලියට පිවිසෙන්නේ අදාළ ශ්‍රේණියේ හය වැනි ස්‌ථානයේ සිටය. 

ඉදිරි තරග සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වමින් ශ්‍රී ලංකා පිලේ නායකත්වය පවසන්නේ ලෝක කුසලානයට පෙර තිබෙන අවසන් එක්‌දින තරග 15 දී අත්හදා බැලීම් සමගින් ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙන බවයි. ''අපිට ලෝක කුසලානයට පෙර තිබෙන අවසන් එක්‌දින තරග 15 දී සංචිතයේ සිටින සෑම ක්‍රීඩකයකුට ඒ ඒ අවස්‌ථා අනුව අවස්‌ථාව දීල හොඳම ක්‍රීඩකයන් තෝරා ගැනීම තමයි අරමුණ. ඒක කරන්නෙ තණතීරුව බලලා. අපිට හොඳ ක්‍රීඩකයන් සිටිනවා. ඔවුන්ට ලැබෙන අවස්‌ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් කණ්‌ඩායමට සේවය කිරීමට ඔවුන් වගබලාගත යුතුයි. විශේෂයෙන් පකිස්‌තානය කියන්නෙ එක්‌දින තරගවලදී ඉන්න පෙරළිකාර කණ්‌ඩායමක්‌. ඔවුන් එක්‌ක තරග කිරීම පහසු නැහැ. මම හිතන්නෙ අපි ටෙස්‌ට්‌ තරගාවලියේ ගෙන ආ ජයග්‍රාහී ආරම්භය මේ තරගාවලියේදීත් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.'' යනුවෙන් මැතිව්ස්‌ පවසයි.

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග පසුගියදා පුහුණුවීම්වලදී තුනටිය ආශ්‍රිතව ආබාධයකට ලක්‌ව සිටියද ඔහු ඊයේ පුහුණුවීම්වලදී හොඳින් පන්දු යෑවූ බවත් අද උදෑසන ඔහුගේ තත්ත්වය යළිත් පරීක්‍ෂා කර බලා තරගයට ක්‍රීඩා කරවීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා නායකයා පවසයි.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ඉනිම ආරම්භ කිරීම තිලකරත්න ඩිල්ෂාන් සහ උපුල් තරංග විසින් සිදු කිරීමට නියමිත අතර ලකුණු අතරට පිවිස සිටින දිනේෂ් චන්දිමාල්ටද අද තරගයේදී අවස්‌ථාවක්‌ හිමිවීමට වැඩි අවස්‌ථාවක්‌ පවතී. එසේ වුවහොත් උපනායක ළහිරු තිරිමාන්නට සිය ස්‌ථානය දිනා ගැනීමට තිබෙන අවස්‌ථාව අඩු බවද වාර්තා වේ.

පකිස්‌තාන් කණ්‌ඩායම සතු ප්‍රබලම දඟ පන්දු යවන්නා වන සයිඩ් අඡ්මාල්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු එක්‌දින තරග දෙක අහිමිව යැම ශ්‍රී ලංකාව දෙසින් සුබදායී පණිවිඩයක්‌ බවට පත්ව තිබේ.ගාල්ලේ පැවැති ටෙස්‌ට්‌ තරගයේදී සිය පන්දු යෑවීමේ ඉරියව්ව සැක සහිත බව විනිසුරුවන් සහ තරග තීරකවරුන් පැමිණිලි කිරීම හේතුවෙන් අඡ්මාල් ඔස්‌ටේ්‍රලියාව බලා පිටත්ව ගොස්‌ ඇති අතර ඔහු එහිදී පරීක්‍ෂණයකට සහභාගි වීමෙන් පසු තෙවැනි එක්‌දින තරගයේ සිට පකිස්‌තාන් කණ්‌ඩායමට එක්‌වීමට නියමිත බව වාර්තා වේ.

පකිස්‌තාන් නායක මිස්‌බා උල් හක්‌ පවසන්නේ සිය කණ්‌ඩායම අවසන් මාස කිහිපයේදී එක්‌දින තරගවලදී කැපී පෙනන දස්‌කම් දැක්‌වූ බැවින් ටෙස්‌ට්‌ තරගාවලියේ පරාජය අමතක කර එක්‌දින තරගාවලිය ජය ගැනීමට සූදානමින් සිටින බවයි. ''අපිට හොඳ තරුණ ක්‍රීඩකයන් සිටිනවා. විශේෂයෙන් එක්‌දින තරගවලට විශේෂඥ ක්‍රීඩකයන් අපි සතුයි. ඒ නිසා අපි මේ තරගාවලියට හොඳ මානසිකත්වයකින් මුහුණ දෙනවා. අඡ්මාල් නැතිවීම පාඩුවක්‌. නමුත් ඔහුගේ පරීක්‍ෂණයෙන් කිසිම ප්‍රශ්නයක්‌ වෙන එකක්‌ නැහැ කියල මම විශ්වාස කරනවා.'' යනුවෙන් මිස්‌බා උල් හක්‌ පවසයි.

ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය අතර පැවැත්වෙන 140 වැනි එක්‌දින තරගයද මෙය වන අතර මීට පෙර දෙපිල සහභාගි වූ එක්‌දින තරග 139 න් ශ්‍රී ලංකාව ජයග්‍රහණ 54 ක්‌ද පකිස්‌තානය ජයග්‍රහණ 80 ක්‌ද ලබා තිබේ. කෙසේ වෙතත් අවසන් වරට පැවැති එක්‌දින තරගාවලි ද්විත්වයේදීම පකිස්‌තානය අභිබවා ශ්‍රී ලංකාව පෙරමුණ ගැනීමට සමත්ව තිබීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ඉහළ දමන්නක්‌ වී තිබේ.

No comments:

Post a Comment