Wednesday, August 20, 2014

'අපි පැය 48 ක්‌ වර්ජන: රෝගී ජීවිත වගකීම අමාත්‍යාංශයට බාරයි'

ඒකාබද්ධ වෘත්තීය සමිතිය කියයි

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

ඉල්ලීම් කිහිපයක්‌ මුල්කර ගනිමින් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ශ්‍රේණි 28 කට අයත් සේවකයන් අද (20 වැනිදා) උදැසන 6.30 සිට පැය 48 ක දීපව්‍යාප්ත අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවේ කැඳවුම්කරු පී. එච්. සෝමරත්න මහතා මේ බව 'දිවයින'ට ඊයේ (19) පැවැසීය.


සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු බලධාරීන් සෞඛ්‍ය සේවකයන්ගේ ඉල්ලීම්වලට වසරකට අධික කාලයක්‌ තිස්‌සේ කන් නොදීම නිසා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවත් රෝගීන්ගේ ජීවිතවලට අනතුරක්‌ සිදු වුවහොත් එහි වගකීමද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බාර ගත යුතු බවත් සෝමරත්න මහතා කීය.

මෙහිදී සෞඛ්‍ය කාර්ය සහායකයින්, ලිපිකරුවන්, ආහාර නිරීක්‍ෂිකාවන්, දුරකථන ක්‍රියාකරුවන්, සුළු සේවා පාලකවරුන් ඇතුළු ශ්‍රේණි 28 කට අයත් සේවකයන් පනස්‌ දහසක්‌ පමණ අද උදේ 10 ට කොළඹ ජාතික රෝහල ඉදිරිපිට සිට දැවැන්ත පාගමනකින් සිය විරෝධතා පළකරමින් ගමන් කරන බවද හෙතෙම කීය.

දින 180 සම්පූර්ණ ආදේශකයන් වහා ස්‌ථිර කිරීම, 6/2006 චක්‍රලේඛයේ හිඟ මුදල් ගෙවීම, අතිකාල දීමනාව රේට්‌ ක්‍රමයට වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් පහකට සෞඛ්‍ය බලධාරීන් කන් නොදීම නිසා මෙම ක්‍රියා මාර්ගයට එළඹි බවත් දැනට ජාතික රෝහල ඉදිරිපිට පවත්වාගෙන යන උපවාසය මාරාන්තික උපවාසයක්‌ බවට පත්කරන බවත් සෝමරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.

No comments:

Post a Comment