
ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරිතම ටෙස්ට් පිතිකරුවන් කිහිප දෙනාගෙන් කෙනකුවන මහේල ජයවර්ධන අද (14 දා) එස්.එස්.සී. පිටියේදී ටෙස්ට් පිටියෙන් සමුගනියි. කොළඹ නාලන්දා විදුහලෙන් ක්‍රිකට් පිටියට පිවිස 1997 අගෝස්තු 2 දා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ටෙස්ට් වරම් දිනාගත් මහේල ඉන් වසර 17කට පසු ලොව විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවකු ලෙස සමුගැනීම කැපී පෙනෙයි.
ලෝක වාර්තා රැසක් බිහි වූ තම ප්‍රථම ටෙස්ට් තරගයේදී අර්ධ ශතකයක් (66) ලබමින් ටෙස්ට් ගමන ඇරඹූ මහේල මේ වනවිට ශතක 34ක් හා අර්ධ ශතක 49ක් ලබා තිබේ.
මතෛක් ටෙස්ට් තරග 148කට ක්‍රීඩාකර ඇති මහේල රැස්කළ ලකුණු සංඛ්‍යාව 11,756ක් වන අතර එහි සාමාන්‍ය 50.02 කි. තම ප්‍රථම ටෙස්ට් තරගයේදී සනත් ජයසූරිය ලකුණු 340ක් ලබාගත් අයුරු බලා සිටි මහේල ඉන් වසර 9කට පසු 2006 දී එම වාර්තාව බිඳ දමමින් ලකුණු 374ක් ලබා ගැනීමට සමත්විය.
ටෙස්ට් දිවියේදී ත්‍රිත්ව ශතකයක් සහ ද්විත්ව ශතක 6ක් වාර්තා කළ මහේල ද්විත්ව ශතක 3 ක් ශ්‍රී ලංකාවේදීද 3 ක් ඉන් පිටතදීද වාර්තා කර තිබේ.
පිටියේ පන්දු රැකීමේදීද අතිවිශිෂ්ටයකු වූ මහේල ලොව ටෙස්ට් උඩ පන්දු ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන්නේ තරග 148කදී උඩ පන්දු 202ක් රැක ගනිමිනි. ඔහුට ඉහළින් තරග 164කදී උඩ පන්දු 210ක් රැස් කළ රාහුල් ඩ්‍රාවිඩ් පසුවෙයි.
අර්ජුන රණතුංගෙන් පසු ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම නායකයා ලෙස සැලකෙන මහේල 2006 දී නායකත්වයට පත්වී ටෙස්ට් තරග 38කදී ජයග්‍රහණ 18ක් ලබා තිබේ.
සිය සමීප සගයා වන සංගා සමග එක්වී ලකුණු 624ක ලෝක වර්තාගත කඩුලු සම්බන්ධතාවයක් තැබූ මහේල එකම ක්‍රීඩාංගණයකදී වැඩිම ශතක ලැබූ පිතිකරුවා මෙන්ම ලකුණු ලැබූ පිතිකරුවා ලෙස වාර්තා පොතට එක්වී සිටියි.නායකත්වයෙන් ඉවත්වීමෙන් පසුවද නායකයාට උපරිම සහය දෙමින් පිටිය පුරා සිය අණසක පැතිරූ මහේල ටෙස්ට් පිටියෙන් සමුගැනීම ශ්‍රී ලංකාවට පිරිමැසිය නොහැකි පාඩුවකි. කඩුල්‍ලේ රැඳී සිටිමින් ටෙස්ට් තරගයට උචිත අයුරින් පන්දුවට පහර දෙමින් වාර්තා පිට වාර්තා තැබූ මහේලගේ ක්‍රිකට් දිවිය නවක පිතිකරුවන්ට ආදර්ශයක් ගත හැකි කාලසීමාවකි.
වයස අවු. 20 දී කුඩා කොලු ගැටයකු ලෙස ටෙස්ට් පිටියට පිවිසි මහේල සියලුම වාර්තා බිඳ දමා විශිෂ්ට පිතිකරුවකු විශිෂ්ට පන්දු රකින්නෙකු මෙන්ම විශිෂ්ට නායකයෙකු ලෙස වසර 17කට පසු අද එස්.එස්.සී. පිටියේදී සමුගෙන යන්නේ ශ්‍රී ලංකාවට විශිෂ්ට සේවයක් කළ ක්‍රිකට් වීරයෙකු ලෙසිනි.

