
අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාද, අනුර ප්‍රියදර්ශන යාපා, එස්.බි. දිසානායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, විමල් වීරවංශ ඇමැතිවරුද ඒ අතර වූහ. නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා එතැනට පැමිණියේ “සර්ව පාර්ලිමේන්තුවට එන දවසට අපට ලොකු සතුටක් තියෙනවා” කියමිනි. සවස 1.45ට පමණ ආරම්භ වූ උපදේශක කාරක සභා හතරේම රැස්වීම් පවත්වා අවසන් වන විට සවස 6.30 පමණ විය. විධායක ජනාධිපතිවරයකු උපදේශක කාරක සභාවලට පැමිණ මෙතරම් වේලාවක් රැඳී සිටි ඉතිහාසයේ පළමු වතාව මෙය බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල නැගිට කළ ප්‍රකාශය එතැන සිටි සියලු දෙනාම පිළිගනිමින් ජනාධිපතිවරයාට ස්තූතිය පළ කළහ.
වරාය, මහාමාර්ග, නීතිය හා සාමය, ආරක්ෂක හා මුදල් යන අමාත්‍යංශ 4ක උපදේශක කාරක සභා මේ විදියට එක දිගටම කරගෙන යාම ගැන විපක්ෂයේ මන්ත්‍රීවරුද අගේ කළහ.
පාර්ලිමේන්තුව 20 වැනිදා රැස්වෙද්දී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කුමාරසිරි හෙට්ටිගේගේ කාමරයට පැමිණියේ සාගර විශ්ව විද්‍යාලය ගැන පැවැති විවාදයට කතා කිරීමෙන් අනතුරුවය.
එරික් වීරවර්ධන, ශෙහාන් සේමසිංහ, තාරානාත් බස්නායක, නිමල් විජේසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එතැන සිටියේ ඉදිරි මැතිවරණ ගැන කතා කරමිනි. “මන්ත්‍රීතුමා මොකක්ද මේ ස්කෝලයකට ගිහින් සිද්ධ වුණයි කියන කතාව?” බස්නායක මන්ත්‍රීවරයා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් ඇසුවේය.
“ඒකේ ඔය කියන කතාවක් වුණේ නැහැ. ඕවා මඩනේ. සමහර වබේ සයිඩ්වල තියෙන ඒවා දැක්කම පුදුම හිතෙනවා. මම ඕවට සැලෙන්නේ නැහැ. ඔය වගේ මඩවලට මම දැන් ඔරොත්තු දෙනවා. පසුගිය දවස්වල ඉරිදා ලංකාදීපයට කළ සම්මුඛ සාකච්ඡාවකදී මගේ විවාහය කවද්ද කියලා මාධ්‍යවේදියා ඇහුවා. ඒකට මම කිව්වේ අම්මා තාත්තාගේ කැමැත්තක් අනුව තීරණයක් ගන්නව කියලයි. ඒක දැනුත් සමහර වබේ අඩවිවල විවේචනය කරලා තිබුණා. මට ගර්ල් ෆේරන්ඩ් කෙනෙක් ඉන්නවා කිව්වානං කොහොම ගහයිද? නාමල් මන්ත්‍රීවරයා කියද්දී එතැන සිටි මන්ත්‍රීවරුන් “ඒකනේ අපි කියන්නේ. අපි වගේ ඉක්මණින් කසාදයක් කරගන්නකෝ. අපි ජනාධිපතිතුමාටත් කියන්නං” කියාය.
ඒ අතර එතැනින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා යද්දී “අනාගත විපක්ෂනායකතුමා කොහේද මේ වේගෙන් යන්නේ” හෙට්ටිගේ ඇසුවේය.
“අපිට දැන් වැඩ ගොඩක් තියෙනවානේ” අමරතුංග මන්ත්‍රීවරයා කීය.
“කොච්චර වැඩ කළත් වැඩක් නැහැ. ජනාධිපතිතුමාට අභියෝග කරන්න තවම කෙනෙක් නැහැ. අපි එක්ක එකතු වෙලා වැඩ කරමු” ගුණරත්න වීරකෝන් අමාත්‍යවරයා කියද්දී “ජනාධිපතිතුමා දක්ෂ නායකයෙක් තමයි. ඒ ගැන අපි වාද කරන්නේ නෑ. ඒ වුණාට විපක්ෂයේ වගකීම යුතුකම අපි ඉටු කරන්න ඕනනේ” කියමින් අමරතුංග මන්ත්‍රීවරයා එතැනින් යන්නට ගියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් රට පුරා පවත්වනු ලබන රැස්වීම් මාලාවේ කාන්තා සමුළුවක් පසුගිය සෙනසුරාදා බදුල්‍ලේ පැවැත්විණ. බදුල්ල තැපැල් කාර්යාල සංකීර්ණයේ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සංවිධානය කර තිබූ කාන්තා සමුළුවට ආරාධිතයෙක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්‍ලේ මහත්මිය සහභාගි විය. සමුළුව අතරතුර සුදර්ශනී ප්‍රනාන්දුපුල්‍ලේ මහත්මියගේ කොන්දේ අපහසුතාවයක් ඇතිවී ක්ලාන්ත ගතියෙන් ඇය තමන්ගේ ආසනයේ වාඩිවිය. ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ඔහුගේ නැගණිය කඩිනමින් මන්ත්‍රීවරිය ඔවුන්ගේ වාහනයක නංවාගෙන රෝහල්ගත කිරීමට පියවර ගත්තේය. පැයක පමණ කාලයක් ඇයව රෝහලේ තබාගත් අතර අධික වෙහෙස නිසා එම රෝගී තත්ත්වය මතුවූ බව වෛද්‍යවරුන්ගේ නිගමනය විය. කොළඹ නොයන ලෙස නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා ඇතුළු පිරිස ඉල්ලා සිටියද සුදර්ශනී ප්‍රනාන්දුපුල්‍ලේ මහත්මිය කොළඹ තම නිවසට පැමිණියාය. ඇය කොළඹට පැමිණි පසු සිද්ධිය දැනගත් ජනාධිපතිවරයා ඇයට දුරකථනයෙන් කතාකොට සුවදුක් විමසුවේය. ඇයට විවේකීව සිටින ලෙස උපදෙස් දුන්නේය. “ඒත් සර් ලබන සතියේ මට නොගිහින් බැරි සමුළු දෙකක් තියෙනවා. මම ඒකට යන්න ඕන” සුදර්ශනී ප්‍රනාන්දුපුල්‍ලේ මහත්මිය ජනාධිපතිවරයා අමතමින් කීවාය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බේරුවල සම්මේලනය ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත, බැසිල් රාජපක්ෂ ඇතුළු මැති ඇමැතිවරුන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මෙය සංවිධානය කර තිබුණේ රාජිත සේනාරත්න ඇමැතිවරයාය. මෙම පිරිස වේදිකාවේ අසුන්ගෙන සිටියදී ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා වේදිකාවේ සිටි මැති ඇමැතිවරුන් අමතමින් කීවේ “ඥානසාර හාමුදුරුවෝ හැම තැනටම කොට කොට ඉඳලා අන්තිමට කෙහෙල් ගහට කෙටුවා වගේ රාජිතට කෙටුවේ” රාජිතට කොටලා තමයි මේක අවසන් වෙන්නේ” යනුවෙනි. මෙම සතියේ පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද මේ සම්බන්ධයෙන් කතාබහ ඇදී ආ මොහොතේ ජනාධිපතිවරයා කියා සිටියේ අනවශ්‍ය සංවිධානයක් සමග ගැටෙන්නට ගොස් සංවිධානවලට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබානොදෙන ලෙසය. මෙම කණ්ඩායම් රැස්වීම අවසානයේ ශ්‍රී ල.නි.ප. මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා රාජිත අසලට පැමිණ විමසුවේ “රාජිත දැක්කද සමහර මාධ්‍යවල ගිහින් තිබුණ දේ”. “ඔව් මම දැක්කා. මම ඉතින් ඔබතුමාව දැනුවත් කරලානේ ගියේ” රාජිත ඊට පිළිතුරු
දෙමින් කීවේය. “රාජිතලා මහනායක හාමුදුරුවරු හම්බවෙන්න ගිය එක ගැන ජනාධිපතිතුමා මගෙන් ඇහුවේ නැහැ. ඔයගොල්ල මට කියලා ගියාද නැද්ද කියලා?” මෛත්‍රිපාල සිරිසේන ඇමැතිවරයා කීවේය. රාජිතලා මහනායක හිමිවරුන් හමුවීමට ගියේ පක්ෂයේ මහලේකම් දැනුවත් කිරීමෙන් පසුවද යන්න පිළිබඳ ජනාධිපතිවරයා විමසා තිබෙන බවට වබේ අඩවිවල පළවූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ඔවුන් දෙපළ අතර මෙම අදහස් හුවමාරුව සිදුවිය.
රට රකින නිල් පවුර - සුරකිමු මව්බිම මැතිවරණ කොට්ඨාස සම්මන්ත්‍රණ මාලාවේ 100 වැන්න පසුගිය 16 වනදා අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ බටපොළ නගරයේ පැවැත්විණි.
මෙම රැස්වීමට සහභාගි වූ ශාන් විජේ ලාල් ද සිල්වා මහ ඇමැතිවරයාගේ උපන් දිනයද විය. දුර බැහැර සිට පැමිණි සබරගමු මහ ඇමැති මහීපාල හේරත් මහතා තමා සමග පැමිණි පිරිස බටපොළට මඳක් ඔබ්බෙන් මීටියාගොඩ නගරයට පැමිණියේ දිවා ආහාරය පිණිස යමක් ඇත්දැයි ඒ කුඩා කඩපොළේ සොයා බැලීමටය.
අනතුරුව මහ ඇමැතිවරයාත් ඔහුගේ කාර්ය මණ්ඩලයත් මීටියාගොඩ කඩපළේ කුඩා කඩයකින් දිවා වේල පිරිමසා ගත්හ.
ඒ පාන් කෑලි කිහිපයක් සහ ඒ මොහොතේ එම කඩහිමියා පිළියෙළ කළ ව්‍යාංජන ස්වල්පයක්ද සමගිනි.
කෙසේ වෙතත් දිවා ආහාරය නිමා කළ මහීපාල හේරත් මහතා ඒ වන විටත් පැමිණෙමින් තිබූ පෙළපාලියට එක්වූයේ මහ වැසි මැදය.
දයාසිරි ජයසේකර, ශාන් විජේලාල් ද සිල්වා යන මහ ඇමැතිවරු දෙපළ සමග රැස්වීම් භූමියට මහීපාල හේරත් මහතා ළඟා වන විට මහ වැසි දෙගුණ තෙගුණ වෙමින් පැවැතිණි.
ශ්‍රී ල.නි.ප. ජාතික සංවිධායක අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මහ වැසි මැද රැස්වීම් භූමියට ළඟා වූ අතර නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක ඒ වන විටත් සභාව අමතමින් සිටියේය.
දැන් අපේ පක්ෂය ඉතිහාසයේ කිසිදාක නැති තරම් ශක්තිමත් පක්ෂයක්.
ප්‍රාදේශීය සභා බහුතරයක බලය අපේ. එකක් ඇර සියලුම පළාත් සභාවල බලයත් අපේ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය මේ වන විට අපිට තියෙනවා. ඒ වගේ ශ්‍රී ල.නි.ප.ය ශක්තිමත් කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමයි. බැසිල් රාජපක්ෂ මහතා කීය.
එදා අපට ආණ්ඩු බලය තිබුණත් පාර්ලිමේන්තුවේ හිටියේ ශ්‍රී ල.නි.ප. මන්ත්‍රීවරු 58ක් පමණයි. ඒත් මහින්ද රාජපක්ෂ මැතිතුමා පක්ෂ නායකත්වයට පත්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ධුර 162න් 127ක්ම ශ්‍රී ල.නි.ප. මන්ත්‍රීවරු. එදා දකුණ, සබරගමුව වැනි පළාත් සභා පවත්වාගෙන යෑමට විවිධ කණ්ඩායම් සතුටු කිරීමට සිදුව තිබුණා. ඒත් අද වන විට ඒ සෑම පළාත් සභාවකම අති බහුතරය ශ්‍රී ල.නි.ප. මන්ත්‍රීවරු.
අපි අපේ සහෝදර පක්ෂ අවතක්සේරු කරනවා නමෛයි. එහෙත් සහෝදර පක්ෂ ශක්තිමත් වන්න නම් ශ්‍රී ල.නි.ප.ය වඩ වඩාත් ශක්තිමත් විය යුතුයි.
එසේ සඳහන් කළ බැසිල් රාජපක්ෂ මහතා අනතුරුව ඔහුට සවන් දී සිටින මහීපාල හේරත්, ශාන් විජේලාල් ද සිල්වා සහ දයාසිරි ජයසේකර යන මහ ඇමැතිවරුන්ගේ මුහුණු දෙස බලමින් සඳහන් කළේ මහ ඇමැතිවරුන් මෙසේ පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් එක්සත්ව සමගියෙන් කටයුතු කිරීම තමා අගයන බවය.
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේ සේවක මඩුල්ලට එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට අවශ්‍ය බව ඔවුන් කලෙක පටන් දැනුම් දී තිබිණ. ඒ අනුව පසුගිය සිකුරාදා ඔහු සිරිකොතට ගොස් එහි කාර්යය මණ්ඩලය මුණගැසුණේය. මේ අවස්ථාව සඳහා තිස්ස අත්තනායක කබිර් හෂීම් යන මහත්වරුන්ද සහභාගි වූහ. “අපි ඊළඟ වසරේ ජාතික මැතිවරණයකට මුහුණ දෙනවා. ඒ සඳහා සිරිකොත කාර්යය මණ්ඩලයත් සන්නද්ධ විය යුතුයි. මෙතන මොනවා හරි අඩුපාඩුකම් තියෙනවා නම් අපේ පක්ෂයේ මහලේකම්තුමාත් එක්ක කතා කරලා අපි ඒවා විසඳා ගනිමු. ඒ සියලු දේවල්වලට මහලේකම්තුමා නායකත්වය දෙයි. රනිල් වික්‍රමසිංහ මහතා කාර්යය මණ්ඩලය අමතමින් කීවේය. මෙය අවසන් කර වික්‍රමසිංහ මහතා මහනුවර බලා පිටත්ව ගියේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සංවිධානය කර තිබූ විශ්‍රාමික ග්‍රාමසේවකවරුන්ගේ හමුවක් සඳහාය. එය අවසන් කොට මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමි බැහැ දැකීමට ගිය වික්‍රමසිංහ මහතා බුද්ධාගම මුහුණ දී සිටින අභියෝග සහ විහාර දේවාලගම් පනතේ තිබෙන අඩුපාඩුකම් සම්බන්ධයෙන් කතාබහ කළේය. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකට දේශපාලනඥයෙක් වූ ඒ.එම්.එම්. හලීම් මහතාගේ දියණියගේ විවාහ මංගල උත්සවය මහවැලි රීච් හෝටලයේ පැවැත්විණ. මේ සඳහා එ.ජා.ප.යේ මන්ත්‍රීවරුන් සහ නායකයන් බොහෝ දෙනෙක්ට ආරාධනා කර තිබූ අතර එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මෙන්ම සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ද මේ සඳහා සහභාගි වී සිටියේය. රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපෙළ අසුනක සිටි අතර සජිත් ප්‍රේමදාස මහතා පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු කිහිප දෙනෙක් සමග වෙනම අසුන්ගෙන සිටියේය. මෙය දුටු පළාත් සභා මන්ත්‍රීවරුන් වෙනම තැනක සිටි සජිත් ප්‍රේමදාස මහතාව බලෙන් වාගේ වික්‍රමසිංහ මහතා අසුන්ගෙන තිබූ මේසය වෙත කැඳවාගෙන ආවේය. “එතැනට පැමිණි සජිත්ව පිළිගත් රනිල් වික්‍රමසිංහ මහතා අතට අත දුන්නේය. අනතුරුව දෙදෙනාම අල්ලාගත් අත් ඇතිව අත් උඩට එසවූයේ සියලු දෙනා අමන්දානන්දයට පත්කරමින්. සමහරුන් මේ විරළ අවස්ථාව තමන්ගේ ජංගම දුරකථනයේ සටහන් කර ගත්තේය.
නුවරඑළියේ පැවැති රැස්වීම් සහ ජනහමු කිහිපයකට සහභාගි වීම සඳහා පසුගිය 15 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නුවරඑළිය බලා පිටත්ව ගියේ ගුවන් මගිනි. නිල්දණ්ඩාහින්න ක්‍රීඩාංගණයට ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය ගොඩබැස්ස වූ අතර විශාල පිරිසක් ජනාධිපතිවරයා දැක බලා ගැනීමට එහි රැස්ව සිටියේය. පාගමනින් යන ලෙස කාන්තාවක් විසින් කළ ආරාධනය පිළිගත් ජනාධිපතිවරයා පාගමනින් ගියේ අවට සිටි ජනතාවගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේය.
සෙනඟ විශාල පිරිසක් සිටිනු දුටු ජනාධිපතිවරයා විමසුවේ රැස්වීම ඇත්තේ මෙතනද කියාය. ඊට පිළිතුරු දුන් සී.බි. රත්නායක ඇමැතිවරයා කියා සිටියේ රැස්වීම පැවත්වෙන පාසල් ක්‍රීඩාංගණයට කිලෝමීටර් 20ක දුරක් යායුතු බවය. පාගමනින් ඉදිරියට යන ජනාධිපතිවරයා ඒ අසල ඇති උත්සව ශාලාවේ පැවැති මංගල උත්සවය අසල නතර විය. සී.බි. රත්නායක ඇමැතිවරයාගේ කාර්යය මණ්ඩලයේ කටයුතු කරන සේවිකාවක් වූ සඳමාලි තරුණියගේ විවාහ මංගල්‍ය එදින පැවැත්වෙමින් තිබිණ. එම මංගල ජෝඩුව එළියට ගෙන්වා ඔවුන් සමග සමූහ ඡායාරූපයකටද ජනාධිපතිවරයා පෙනී සිටියේය.
එදින නුවරඑළියේ නතර වූ ජනාධිපතිවරයා පසුදා උදෑසන ගේරගරි වැව ඉවුරේ ශාරීරික ව්‍යායාමයේ යෙදුණේය. උදේ කෑම සඳහා කටයුතු සූදානම් කර තිබුණේ පුත්‍රසිගාමනී මන්ත්‍රීවරයා විසිනි. සතාසිවම් මන්ත්‍රීවරයාද ජනාධිපතිවරයා සමග සිටියේය. “දැන් මෙයා ඔබතුමා ගාවට ඇවිත් හිටියාට ඔබතුමා පරද්දන්න තමයි වැඩ කළේ” පුත්‍රසිඟමනී සතාසිවම් පෙන්නමින් කීවේය. “දැන් ඔය පරණ කතා වැඩක් නැහැ. ඒවා අමතක කරලා අපි එකට වැඩ කරමු” ජනාධිපතිවරයා ඔවුන් අමතමින් කියා සිටියේය.
No comments:
Post a Comment